මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන පිළියන්දල පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සිය පෙම්වතා බැලීමට පැමිණි තරුණියක, මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ කිරි තේ පානයක් සහ මත්කරල් සහිත ආහාර ලබාදීමට උත්සාහ කිරීමේදී ඊයේ (22) දහවල් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතා බැලීමට පැමිණි මෙම තරුණිය, ඔහු සමඟ කතාබස් කර පිටතට ගොස් පසුව ආහාර සහ පාන වර්ග රැගෙන නැවත පොලිසියට පැමිණ ඇත. ඇය රැගෙන ආ කුඩා ඉටි බෑගයක බහා තිබූ කිරි තේ එක සහ සැන්ඩ්විච් පරීක්ෂා කිරීමේදී, කිරි තේ එක තුළ දිය කරන ලද මත්ද්‍රව්‍ය සහ සැන්ඩ්විච් එකක් තුළ සඟවා තිබූ මත්කරලක් සොයා ගැනීමට පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතා ඇතුළු නිලධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය කළුබෝවිල, ඇන්ඩර්සන් පාරේ පදිංචිකාරියකි. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ සිරකරුවෙකුට ලබාදීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ සැකකාරිය සහ ඇයගේ පෙම්වතා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














