දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් වර්ණවත් වන “මාතර කලා උලෙළ” (Matara Festival for the Arts) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. පසුගිය 19 වැනිදා ආරම්භ වූ මෙම කලා උලෙළ අද (23) දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ආරම්භ කළ ‘Freedom Hub’ ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කර ඇති මෙම උලෙළ මෙවර මෙහෙයවනු ලබන්නේ චංචලා ගුණවර්ධන මෙනවිය විසිනි. මාතර පැරණි මහාධිකරණ පරිශ්‍රය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවයේදී දෘශ්‍ය කලා ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට දැක්ම, කලා පොළ සහ ප්‍රවීණයන් මෙහෙයවන ප්‍රායෝගික වැඩමුළු රැසක් ක්‍රියාත්මක වේ.
සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ඇතුළු කලාකරුවන්, විදේශීය ආරාධිතයන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ. දකුණු ලකේ කලා අනන්‍යතාවය ලෝකය වෙත ගෙනයාම සහ තරුණ කලාකරුවන්ට වේදිකාවක් තැනීම මෙම උලෙළේ ප්‍රධාන අරමුණ වී තිබේ.















