විනිවිද පෙනෙන මහජන සන්නිවේදනය සහ වගකිවයුතු මාධ්‍ය භාවිතය මඟින් රටේ ප්‍රගතිය මෙන්ම ජාත්‍යන්තර කීර්තිනාමය ද ශක්තිමත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙස් විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් 175කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවති සුහද හමුවකදීය.
2025 වසරේදී ශ්‍රී ලංකාව ලැබූ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව කරුණු දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ මඟින් ලැබුණු ඒකාබද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක් පමණ වූ බවයි. 2025 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 2.36ක් දක්වා වර්ධනය වූ අතර ඉන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.2කි. එමෙන්ම සංක්‍රමණික සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ඉක්මවා ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යාම සඳහා රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරුණු අතර, රජයේ ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ලොවට සන්නිවේදනය කිරීමේදී මාධ්‍ය ලබාදෙන සහයෝගය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.















