ශ්‍රී ලංකාව සහ සෞදි අරාබියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය නව රජයේ ප්‍රතිපත්තිමය දැක්ම යටතේ තාක්ෂණික, සංචාරක සහ හරිත බලශක්ති වැනි ක්ෂේත්‍ර කරා පුළුල් කිරීමට නව අවස්ථා උදා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞදි අරාබියේ ආරම්භක දින සැමරුම් උත්සවය (Saudi Founding Day) වෙනුවෙන් කොළඹදී පැවැති විශේෂ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෞදි අරාබිය විසින් මෙරට යටිතල පහසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ‘සෞදි අරමුදල’ (Saudi Fund for Development) හරහා ලබාදෙන අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා රජයේ ඇගයීමට ලක්විය. විශේෂයෙන්ම සෞදි අරාබියේ සේවය කරන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙරටේම ආර්ථික ශක්තිමත්භාවයට ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
සෞදි අරාබියේ “2030 දැක්ම” (Vision 2030) හා සමගාමීව ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ඉදිරියේදී උදා වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය. සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් රජු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ට සහ එරට ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.
මෙම සැමරුම් උත්සවය මෙරට සෞදි තානාපති කාලිද් හම්මුද් අල් කහ්තානි මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් ද ඒ සඳහා එක්ව සිටියහ.















