දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර සඳහා තිරසර මූල්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ විශේෂ තාක්ෂණික දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කළ මෙම විශේෂ සංචාරයේදී, විපතට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නඟාසිටුවීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) සහ UNDP හි ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙහිදී ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) ඇතුළු රජයේ ආයතන කිහිපයක නියෝජිතයන් සමඟ එක්ව, ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සහ අනාගත ආපදා අවදානම් අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙම තාක්ෂණික දූත පිරිසට ආසියා පැසිෆික් කලාපීය UNCDF කණ්ඩායම් නායිකා මාරියා පර්ඩෝමෝ මහත්මිය ඇතුළු ජාත්‍යන්තර ආයෝජන සහ මූල්‍ය උපදේශකවරුන් පිරිසක් ඇතුළත් වේ. දිට්වා කුණාටුවෙන් පසු අඩාල වූ දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ලබාගැනීමේ වැදගත් පියවරක් ලෙස මෙම හමුව සැලකේ.















