මෙම වසරේදී තැපැල් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රුපියල් මිලියන 5.1ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ඊයේ (22) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය වසරේදී රුපියල් මිලියන 13,450ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බැවින්, මෙවර නියමිත ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැකි වනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.
තැපැල් සේවාව නවීකරණය කිරීම සඳහා රජය පුළුල් පියවර රැසක් ගෙන ඇති අතර, ඒ යටතේ මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා ආරක්ෂිත කැමරා (CCTV) 209ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 27ක් වෙන් කර තිබේ. එමෙන්ම සේවාව ඩිජිටල්කරණය කිරීම සඳහා පරිගණක යන්ත්‍ර 225ක් සහ ටැබ් පරිගණක 1,500ක් මිලදී ගැනීමට පිළිවෙළින් රුපියල් මිලියන 74ක් සහ රුපියල් මිලියන 101ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. මීට අමතරව තැපැල් කාර්යාල 657ක් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර මිලදී ගැනීමට ද රුපියල් මිලියන 31ක් වෙන් කර ඇත.
තිරසර බලශක්ති භාවිතය දිරිගැන්වීමක් ලෙස මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථාන ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 24ක වියදමින් සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට කටයුතු යොදා තිබේ. ඉන් පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ කටයුතු මේ වන විටත් අවසන් කර ඇත. මෙම නවීකරණ කටයුතු හරහා තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන සහ කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.














