තවලම – අකුරැස්ස මාර්ගයේ, තවලම හන්දිය ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් 17 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අකුරැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වහාම හිනිදුම රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම රෝහලට මාරු කර යැවීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ. තුවාල ලැබූ පසුපැදිකරු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. මාර්ගයේ ලිස්සා යාම හෝ අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.














