පසුගිය දින කිහිපය පුරා වෙළෙඳපොළේ පැවති ගෑස් හිඟයට පිළියම් යොදමින්, ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කළ බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ කොළඹ වරායට ළඟා වූ අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු අවසන් කර අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
ගෑස් ඉල්ලුම අනපේක්ෂිත ලෙස ඉහළ යාම හේතුවෙන් සැපයුමට බාධා එල්ල වූ අතර, මීළඟ නෞකා දෙක ලබන 25 වැනිදා සහ 28 වැනිදා මෙරටට ළඟා වීමට නියමිතය. අවශ්‍ය පරිදි තොග පවත්වා ගැනීම සඳහා මේ වන විටත් නව ඇණවුම් ලබා දී ඇති බැවින් පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පවතින තදබදය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බව සමාගම විශ්වාසය පළ කරයි. මේ අතර වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ලබන මාර්තු 12 වැනිදා සිට තවත් විශාල ගෑස් තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදන බවයි.
පසුගිය දින කිහිපයේ ගෑස් ලබා ගැනීමට පෝළිම්වල රැඳී සිටි පාරිභෝගිකයන්ට සහ අලෙවි නියෝජිතයන්ට මෙම තීරණය විශාල සහනයක් වනු ඇත. ලිට්රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කරන්නේ පවතින හිඟය කඩිනමින් මඟහරවා ගැනීම සඳහා සියලු බෙදාහැරීමේ ජාල උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන බවයි.














