වතු පාලන අධිකාරියෙන් එල්ල වන බලපෑම්වලට එරෙහිව සහ සිය සේවා ගැටලුවලට විසඳුම් ඉල්ලා වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ දෙමාපියන් එක්ව ඊයේ (22) හැටන් නගරයේදී විරෝධතාවයක නිරත විය. මලයගම් පෙර පාසල් ගුරු සංසදය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේදී පාලිකාවන් පෙන්වා දුන්නේ ඇතැම් වතු පාලන අධිකාරීන් විසින් පෙර පාසල් පවත්වාගෙන යාමට බාධා පමුණුවන බවයි. රජයේ ලියාපදිංචි පාලිකාවන්ට ලැබෙන රුපියල් 6,000ක දීමනාව පවා නොලැබෙන පිරිසක් සිටින බවත්, වතු පරිපාලනයෙන් ගොඩනැගිල්ල පමණක් ලබා දී ඇති අතර කිසිදු මූල්‍ය දීමනාවක් ලබා නොදෙන බවත් ඔවුහු අවධාරණය කළහ. හැටන් බස් නැවතුම්පොළ අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන නගර මධ්‍යය දක්වා ගමන් කළ අතර, එහිදී බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස බල කරමින් පිරිස උද්ඝෝෂණයේ නිරත විය.















