නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි. ටෙන්ඩර් කොන්දේසි අනුව ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ (Reject levels) පවතින ගල්අඟුරු මෙලෙස දිගින් දිගටම බලාගාරය වෙත භාරගෙන ඇති බව හෙළිදරව් වී තිබේ. රලපනාව මහතා පෙන්වා දෙන පරිදි, තාපන අගය, වාෂ්පශීලී ද්‍රව්‍ය ප්‍රතිශතය සහ අළු ප්‍රතිශතය යන ප්‍රධාන පරාමිතීන් තුනම මෙම නැව් හයේදී අසමත් වී ඇත. විශේෂයෙන් අළු ප්‍රමාණයේ උපරිම සීමාව 16% ලෙස නියම කර තිබුණද, මෙම ගල්අඟුරු වල අළු ප්‍රමාණය 21% සිට 26.9% දක්වා ඉතා ඉහළ මට්ටමක පවතින බව පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.














