රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ වන විටත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර ඇති බවත්, ඔහු පරාජය කිරීම මුළු ලෝකයේම ජයග්‍රහණයක් බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. කියෙව් අගනුවරදී බීබීසී (BBC) පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේන භූමිය පාවා දෙමින් සටන් විරාමයකට එළඹීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බවයි. එවැනි ඉවත් වීමක් යුක්රේන සමාජය බෙදා වෙන් කරනු ඇති බව පෙන්වා දෙන සෙලෙන්ස්කි, පුටින්ට අවශ්‍යව ඇත්තේ ලෝකයේ මිනිසුන් තෝරාගෙන ඇති නිදහස් ජීවන රටාව වෙනස් කිරීමට බව ද ප්‍රකාශ කළේය.
මෙම යුද්ධය ජය ගැනීම යනු 1991 වසරේ පැවති දේශසීමා දක්වා සියලු භූමිය යළි අත්පත් කර ගැනීම බවත්, එය යුක්තිය ඉටු කිරීමක් බවත් ඔහු සඳහන් කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරනු ලබන දේශපාලන බලපෑම් සහ යුක්රේනයේ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ, මැතිවරණයක් පැවැත්වීමට පෙර යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කෙරෙන ස්ථිර ජාත්‍යන්තර සහතිකයක් අවශ්‍ය බවයි. ඇමරිකානු නායකයන් වෙනස් වුවද එරට ආයතන ස්ථාවර බැවින් දීර්ඝකාලීන ආරක්ෂක ගිවිසුම් පිළිබඳව තමන් විශ්වාසය තබන බවත්, පුටින් නැවැත්වීම සඳහා ජාත්‍යන්තරය යුක්රේනයට තවදුරටත් අවි ආයුධ සහ තාක්ෂණය ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














