මුහුණු පොතේ පළ කළ දැන්වීමක් මාර්ගයෙන් ඉතාලියේ සංගීත කණ්ඩායමක රැකියා ලබාදෙන බව පවසා රුපියල් 3,750,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස වංචා විමර්ශන අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වංචාවට හසු වී ඇත්තේ ආනවිලුන්දාව සහ සෙංගල්ඔය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් විසින් ජාඇල කැපුම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. සැකකරු විසින් පොරොන්දු වූ රැකියාව ලබා නොදුන් බවත්, ලබාදුන් මුදල් යළි ඉල්ලා සිටියද ඒවා ලබාදීමට අපොහොසත් වී ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි. විදේශ රැකියා වංචා බහුලව සිදුවන බැවින් මුහුණු පොතේ දැන්වීම් හරහා මුදල් ගනුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














