ලෝක වෙළඳපොළේ සහ දේශීය වෙළඳපොළේ රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ රන් භාණ්ඩ කොල්ලකෑම් ඉහළ ගොස් ඇති බවට චෝදනා කරමින් මන්නාරමේ කාන්තා සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක නිරත විය. මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිටින් ඊයේ ආරම්භ වූ මෙම විරෝධතාවය නගරය හරහා පාගමනින් ගොස් මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත විශේෂ සංදේශයක් භාර දීමෙන් අවසන් විය. සංවිධානාත්මක කොල්ල කල්ලිවල මරණ තර්ජන හමුවේ තමන්ට සේවය නිමවා නිවෙස් බලා යාමට පවා ආරක්ෂාවක් නොමැති බව විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ.
මෙම විරෝධතාවයට ආසන්නතම හේතුව වී ඇත්තේ සේවය නිමවා නිවස බලා යමින් සිටි පවුල් සෞඛ්‍ය සේවිකාවක පැහැරගෙන ගොස්, පාළු ස්ථානයකදී ඇය සතු රුපියල් නවලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා පලා යාමයි. මීට පෙරද අවස්ථා හතරකදී මෙලෙස කාන්තාවන් ඉලක්ක කරගනිමින් රන් භාණ්ඩ සොරකම් කිරීම් වාර්තා වී ඇතත්, මෙතෙක් එම සොරුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් චෝදනා කරති. මුහුණු ආවරණය කරගෙන පැමිණෙන මෙම සංවිධානාත්මක කල්ලි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ඔවුහු පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
වර්තමානයේ රන් පවුමක මිල අධික ලෙස ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙවැනි කොල්ලකෑම් රටේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතී. විශේෂයෙන්ම හුදකලා ස්ථානවල ගමන් ගන්නා කාන්තාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, පොලිස් මුර සංචාර දැඩි කරන ලෙසත් විරෝධතාකරුවන් සිය ඉල්ලීම් මගින් පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් සේවයෙන් ඉවත් වී විරෝධය දැක්වීමට ද සෞඛ්‍ය සේවකයින් සූදානමින් පසුවෙයි.














