තමන්ට සිදුව ඇති අසාධාරණකම්වලට විසඳුම් ඉල්ලා 2009 සහ 2010 වර්ෂවලදී සේවයට බැඳුණු ග්‍රාම නිලධාරීන් පිරිසක් එළඹෙන මාර්තු 03 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇත. 2007 වසරේ පැවැති තරග විභාගයෙන් සමත්ව සේවයට එක්වූ මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ නව සේවා ව්‍යවස්ථාව හරහා තමන් දැඩි නොසලකා හැරීමකට ලක්ව ඇති බවයි. දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් 25%ක් පමණ, එනම් 2,300කට අධික පිරිසක් මෙම ගැටලුවට මුහුණ දී සිටිති. වසර 17ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති තමන්ගේ ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද වෘත්තීය සංගම් අනතුරු අඟවයි. මෙම විරෝධතාව සඳහා පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහය හිමිව තිබේ.
















