අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමත් සමඟ අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම පදිංචි 46 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු වන අතර ඔහු ටී-56 ගිනි අවියෙන් නීතිඥවරයාට වෙඩි ප්‍රහාර අටක් එල්ල කළ පුද්ගලයා බවට හඳුනාගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොහුව දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කරන්දෙණිය සුද්දා” විසින් මෙහෙයවන ලද්දක් බවයි. නීතිඥවරයා සන්තකයේ කරන්දෙණිය සුද්දාගේ විදේශ ගමන් බලපත්‍ර විස්තර පැවතීම සහ ඔහු තවත් පාතාල කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” සමඟ තොරතුරු හුවමාරු කර ගන්නා බවට ඇති වූ සැකය මෙම ඝාතනයට හේතුව වී තිබේ. කරන්දෙණිය සුද්දා විසින් සැකකරුට දුරකථනයෙන් අමතා නීතිඥවරයා මෙන්ම ඔහුගේ බිරිඳ ද ඝාතනය කරන ලෙස නියෝග කර ඇති අතර ඊට ප්‍රතිඋපකාරයක් ලෙස සැකකරු මෙම අපරාධය සිදු කර ඇත. සැකකරු මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දී ඇත්තේ ද කරන්දෙණිය සුද්දා විසිනි.
ඝාතනයට පෙර දින කොටිකාවත්ත ප්‍රදේශයේදී ගිනි අවි පරීක්ෂා කර බැලූ සැකකරුට, අපරාධය සඳහා රුපියල් ලක්ෂයක මුදලක් සහ “අයිස්” මත්ද්‍රව්‍ය ද ලබා දී තිබේ. සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය පවසයි. ඝාතනයෙන් පසු අම්බලන්ගොඩ ප්‍රදේශයේ කුකුළු ගොවිපළක සැඟව සිටි මොහුව කොටු කර ගැනීමට හැකි වූයේ දුරකථන දත්ත විශ්ලේෂණය මගිනි. ප්‍රහාරයට පැමිණි අනෙක් වෙඩික්කරු වන ජින්තුපිටියේ සැකකරු සහ මෝටර් රථයේ රියදුරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර රියදුරු විදේශගත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.















