දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ දෙවට අතර පිවිසුම් මාර්ගයේ රියදුරන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් මාරක රිය අනතුරු ඇතුළු අනතුරු රැසක් වාර්තා වන බව ප්‍රදේශවාසීහු සහ නිලධාරීහු පෙන්වා දෙති. අධිවේගී මාර්ගයේ ගමන් කරන වේගයෙන්ම මෙම පිවිසුම් මාර්ගයේ ද රිය පැදවීම නිසා පසුගියදා පිය පුතු දෙපළක් ද ජීවිතක්ෂයට පත් වූහ.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා පෙන්වා දෙන්නේ පින්නදූව සිට නුගදූව දක්වා වූ මෙම මාර්ගය මංතීරු දෙකක් දක්වා පුළුල් කිරීම හරහා අනතුරු අවම කරගත හැකි බවයි. එමෙන්ම, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති රත්නගමගේ මහතා ද පින්නදූව සහ නුගදූව අතර ‘සෙන්ටර් මීඩියන්’ (Center Median) යෙදිය යුතු බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ මැද බෙදුම්කඩ යෙදීමට නම් මාර්ගය මංතීරු හතරක් දක්වා සංවර්ධනය කළ යුතු බවයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පසුගිය වසර පහක කාලය තුළ සිදු වූ අනතුරු පිළිබඳ පොලිස් වාර්තාවක් කැඳවා ඇති බවත්, ඒ මත පදනම්ව නව මාර්ග සංඥා පුවරු ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














