ඌව පරණගම, ලූණුවත්ත ප්‍රදේශයේ කරාතේ පන්තියකට සහභාගී වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත කළු පටි ශ්‍රේණිධාරී කරාතේ උපදේශකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 54 හැවිරිදි මෙම සැකකරු විවිධ ප්‍රදේශවල සටන්කලා පුහුණු පන්ති පවත්වාගෙන යන්නෙකු බව පොලිසිය පවසයි.
අදාළ දරුවා පුහුණුවීම් සඳහා පැමිණි අවස්ථාවක මෙම අපරාධය සිදු කර ඇති අතර, ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව ඌව පරණගම පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත් වූ දරුවා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පෞද්ගලික උපකාරක පන්ති සහ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.














