වලපනේ කොතලාගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පද්මිණී මංගලිකා මහත්මිය, පවතින අයහපත් කාලගුණයත් සමඟ නිවසට ඉහළින් ඇති කන්දේ සිට පෙරළී ආ විශාල ගලක් හේතුවෙන් බරපතළ තුවාල ලබා මේ වන විට එක්තැන් වී සිටියි. සැමියා විසින් අත්හැර දමා ගොස් ඇති ඇය, සිය කුඩා දරුවන් තිදෙනා සමඟ ජීවත් වූ නිවසේ කුස්සිය මතට මෙම ගල කඩා වැටී ඇති අතර, වහළයේ ෂීට් කැබැල්ලක් ඇගේ කකුළට වැදීමෙන් සිදු වූ තුවාල සඳහා නුවරඑළිය රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කර ඇත.
ගල නිවස මතට පතිත වීමෙන් කුස්සිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කාමරවල බිත්ති ද ඉරිතලා ගොස් තිබේ. මේ හේතුවෙන් ඇය සහ දරුවන් තිදෙනා මේ වන විට ඇගේ පියාගේ නිවසේ ලැගුම් ගෙන සිටිති. “මට දැන් ඇවිද ගන්න බැහැ, දරුවන් එක්ක මම අසරණ වෙලා ඉන්නේ” යැයි ඇය ඉතා අසීරුවෙන් පවසා සිටින්නීය.
සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය සහ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇති අතර, මෙතෙක් ලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් සහනාධාර මල්ලක් පමණක් බව ඇගේ පියා වන ජයවීර මහතා පවසයි. තම දියණියට සහ දරුවන්ට පදිංචිය සඳහා ආරක්ෂිත ස්ථානයකින් ඉඩමක් සහ නිවසක් සාදා ගැනීමට උදව් කරන ලෙස ඔහු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගෙන් සහ වලපනේ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රජයේ බලධාරීන්ගෙන් අහිංසක ඉල්ලීමක් කර සිටියි.














