ශ්‍රී ලංකාවේ ඇත්ගොව් කලාවට නව මානයක් එක් කළ, මෙරට ප්‍රථම ඇත්ගොව් කාන්තාව ලෙස ඉතිහාසයට එක්වූ හැඩිගල්ල දික්හේන පදිංචිව සිටි පී. ඥානවතී මහත්මිය සිය ජීවන ගමන නිමා කළාය. මියයන විට ඇය 75 වැනි වියේ පසුවූවාය.
1985 වසරේදී විවාහ වී හැඩිගල්ල ප්‍රදේශයට පැමිණි ඇය, 2005 වසරේ සිට සිය ස්වාමියා සමඟ එක්ව ‘ගුණේ’ නමැති අලියා බලාගැනීම ආරම්භ කළාය. පසුව 2017 වසරේ සිට එම වගකීම තනිවම ඉටුකළ ඇය, මහනුවර ඇසළ පෙරහැර, කැලණි, බෙල්ලන්විල සහ නවගමුව වැනි මෙරට ප්‍රධාන පෙළේ ඓතිහාසික පෙරහැරවල් රැසක අලියා මෙහෙයවමින් සහභාගී වී කාන්තාවකට ඇත්ගොව් වෘත්තිය කළ නොහැකිය යන මතය බිඳ දැමුවාය. ජීවිතයේ අවසන් කාලය වන තෙක්ම අලින් සමඟ සමීපව කටයුතු කළ ඇය, 2022 වසරේදී දෙනියාය ප්‍රදේශයේදී ද අලියෙකු බලාගනිමින් සිය සේවය ලබා දුන්නාය.
හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් නාගොඩ මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 21 වැනිදා බදුරලිය තුඹගල්ල ආදාහනාගාරයේදී සිදුකෙරිණි. මෙරට සංස්කෘතික අංගයන්ට අභිමානයක් එක් කළ ඇයගේ අභාවය දේශීය ඇත්ගොව් පරපුරට සහ සංස්කෘතික ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.














