ශ්‍රී ලංකා මුහුදු තීරයේ පිහිටි ඓතිහාසික නැව් සුන්බුන් ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ලෝකයේ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන ‘HMS Hermes’ ඇතුළු සුවිශේෂී නැව් සුන්බුන් රැසක් අප මුහුදු සීමාවේ පවතින බවයි.
මෙම දිය යට උරුමයන් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට විශාල ඩොලර් ආදායමක් උපයා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. එහෙත් වර්තමානය වන විට ඇතැම් සුන්බුන් නීතිවිරෝධී ලෙස ගොඩගැනීම සහ විනාශ කිරීම් පිළිබඳව ඔහු සිය කනගාටුව පළ කළේය. මෙම ස්ථාන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බැවින් ඒවා ආරක්ෂා කරමින් සංචාරක ප්‍රවර්ධනයට යොදා ගැනීම සඳහා විධිමත් සම්බන්ධීකරණයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
දිය යට කිමිදුම් තාක්ෂණය (Diving Technology) සහ විශේෂඥ දැනුම භාවිත කරමින් මෙම ස්ථාන ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවට අද්විතීය සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකයේ ඉදිරියට පැමිණිය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














