හයිද්‍රාබාද් නගරයේ ජුබිලි හිල්ස් ප්‍රදේශයේදී සුඛෝපභෝගී ෆෙරාරි (Ferrari) රථයක් අනතුරට ලක්වීමට හේතුව එහි තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් (Brake failure) විය හැකි බව එරට පොලිසිය මූලික විමර්ශනවලින් අනාවරණය කර තිබේ.
පසුගිය ඉරිදා (පෙබරවාරි 22) පෙරවරු 10:30 ට පමණ තෙළිඟු නළු නන්දමුරි බාලක්‍රිෂ්ණාගේ නිවස අසලදී මෙම අනතුර සිදුව ඇත. අධික වේගයෙන් පැමිණි රථය පාලනය කරගත නොහැකිව මාර්ග මැද පිහිටි විදුලි කණුවක ගැටී, අනෙක් පස මංතීරුවට විසි වී එදිරිපසින් පැමිණි වාහන තුනක ගැටී තිබේ.
ෆෙරාරි රථය පදවා ඇත්තේ 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන ක්‍රාන්ති රෙඩ්ඩි නැමැත්තෙකි. පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කර නොසිටි බව තහවුරු වී ඇති නමුත්, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත. අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, රුපියල් කෝටි 4ක් පමණ වටිනා Ferrari California T රථයට සහ තවත් වාහන කිහිපයකට දැඩි හානි සිදුව ඇත.
රියදුරු පවසා ඇත්තේ හදිසියේම තිරිංග ක්‍රියා විරහිත වී සුක්කානම හිරවීම නිසා රථය පාලනය කරගත නොහැකි වූ බවයි. මේ සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, එම වාර්තාවෙන් පසු අනතුරට නිශ්චිත හේතුව තහවුරු වනු ඇත.














