කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (23) දිනය අවසානයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 9.38 කින් ඉහළ ගොස් 23,783.02 ක් ලෙස සටහන් වූ අතර, වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් ලෙස වාර්තා විය.
සමස්ත වෙළෙඳපොළ දර්ශකය සුළු වශයෙන් ඉහළ ගියද, ප්‍රමුඛ සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය අද දිනය අවසානයේ ඒකක 21.19 කින් (0.32%) පහළ බැස 6,742.66 ක් ලෙස සටහන් විය.
අද දින වෙළෙඳපොළේ වර්ධනය සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ මෙල්ස්ටාකෝර්ප් (Melstacorp) සහ ඩිස්ටිලරීස් (DCSL) යන සමාගම්ය. මෙල්ස්ටාකෝර්ප් සමාගම සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටසක් විකිණීමට ගත් තීරණයත් සමඟ එම සමාගමේ කොටස් මිල 1.79% කින් ඉහළ ගිය අතර, ඩිස්ටිලරීස් කොටස් මිල 2.54% කින් වර්ධනය විය.
පසුගිය දින කිහිපය තුළ දේශීය ආයෝජකයින් සක්‍රීයව වෙළෙඳපොළට එක්ව සිටින අතර, අයි.එම්.එෆ් (IMF) තීරණ සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ පවතින විශ්වාසය කොටස් වෙළෙඳපොළ මෙලෙස ස්ථාවරව පවත්වා ගැනීමට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.














