අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු යුද හමුදා සෙබළාට, වෛද්‍යවරියගේ ස්මාර්ට් ජංගම දුරකතනය සොරා ගැනීමේ චෝදනාවට වසරක අනිවාර්ය සිර දඬුවම් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (23) නියෝග කළේය. සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම වූ අතර, සිර දඬුවමට අමතරව රුපියල් 1,500ක දඩයක් ද ඔහුට නියම කෙරිණි. මීට අමතරව, සොරාගත් දුරකතනය සඟවා තැබීමට ආධාර අනුබල දුන් සැකකරුගේ සහෝදරියට සහ තවත් පුද්ගලයෙකුට මාස 6 බැගින් සිර දඬුවම් නියම වූ අතර එම දඬුවම වසර දෙකකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
මෙම අපරාධය සිදුවූයේ ඉකුත් වසරේ මාර්තු 10 වන දින රාත්‍රියේදී, අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍ය නේවාසිකාගාරයට සැකකරු අනවසරයෙන් ඇතුළු වීමෙනි. ලිංගික අපරාධය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ද ඉදිරිපත් කළ අතර එහිදී වින්දිත වෛද්‍යවරිය ඔහුව නිවැරදිව හඳුනා ගැනීමට සමත් විය. අදාළ ලිංගික අපරාධය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තා දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ඉදිරියේදී සැකකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.
සැකකරු මීට පෙර ලිංගික අපරාධ චෝදනාවට දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියම කළ ද, ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ වෙනත් චෝදනාවක් හේතුවෙන් ඔහුට දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය. විශේෂත්වය වන්නේ, නඩුව ආරම්භ වූ දින සිට අද දක්වාම සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත් නොවීමයි. පැමිණිලිකාර වෛද්‍යවරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.














