ලෝකප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor මගින් නිකුත් කරන ලද 2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් 10 ලැයිස්තුවට (Travelers’ Choice Awards) ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් ඇතුළත් වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මිරිස්ස වෙරළ තීරය ආසියාවේ 5 වැනි ස්ථානය දිනාගෙන ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 7 වැනි ස්ථානයට පත්ව ඇත. Tripadvisor වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති ස්ථාන අතරින් “හොඳම අතරින් හොඳම” (Best of the Best) ගෞරව නාමය හිමිවන්නේ ලොව පුරා සංචාරක ස්ථානවලින් 1% කටත් වඩා අඩු ප්‍රමාණයකට වීම මෙහි ඇති විශේෂත්වයයි.
දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස, එහි රන්වන් වැලිතලාව, සුන්දර හිරු බැස යන දසුන් මෙන්ම “Coconut Tree Hill” වැනි ආකර්ෂණීය ස්ථාන නිසා සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වී තිබේ. නිරිතදිග වෙරළ තීරයේ පිහිටි බෙන්තොට, ජල ක්‍රීඩා (Water sports) සඳහා ආසියාවේ ඇති හොඳම ගමනාන්තයක් ලෙසත්, හිරු රශ්මිය විඳිමින් විවේකීව ගත කිරීමට සුදුසුම ස්ථානයක් ලෙසත් මෙම වාර්තාව මගින් හඳුන්වා දී ඇත.
මෙම ජාත්‍යන්තර පිළිගැනීමත් සමඟ ඉදිරි සංචාරක සමයේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














