පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් නීතිඥවරුන්, බන්ධනාගාර නිලධාරීන් සහ ප්‍රකට භික්ෂූන් වහන්සේලා ඇතුළු වෘත්තිකයන් සිය ගණනක් තමන්ට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා තිබේ. බත්තරමුල්ලේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මෙම බිය තදින්ම පැතිර ගොස් ඇති අතර, ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට රාජ්‍ය බුද්ධි සේවය හරහා අදාළ පුද්ගලයන් පිළිබඳ ආරක්ෂක තක්සේරු වාර්තා කැඳවා ඇත.
විශේෂයෙන්ම බන්ධනාගාර තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාවලට වැට බඳින නිලධාරීන්ට මෙන්ම පාතාල සාමාජිකයන් සම්බන්ධ නඩුවලට පෙනී සිටින නීතිඥයන්ට ද මෙලෙස තර්ජන එල්ල වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේ, බුද්ධි වාර්තා සහ විශේෂ කමිටු නිර්දේශ මත පදනම්ව සැබැවින්ම අවදානමක් පවතින පිරිස් වෙත කඩිනමින් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවයි.














