ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG Auto) සමාගම සිය නවතම Altair ප්‍රදර්ශනාගාරය අද (23) විවෘත කරන ලදී. කොළඹ ඇල්ටෙයාර් (Altair) ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම ප්‍රදර්ශනාගාරය, ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන BYD සහ එහි සුඛෝපභෝගී උප සන්නාමය වන DENZA යන දෙකම එකම වහලක් යටදී පාරිභෝගිකයාට අත්විඳිය හැකි මෙරට ප්‍රථම ගමනාන්තය වේ. පාරිභෝගිකයින්ගේ පහසුව සඳහාම වෙන්වූ අභ්‍යන්තර කැෆේ පහසුකමකින් ද සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය, වාහන මිලදී ගැනීමේ අත්දැකීම නව මානයකට ගෙන යයි.
මෙම සුවිශේෂී ප්‍රදර්ශනාගාරය තුළ BYD SEALION 6 සහ BYD SHARK 6 වැනි ඉහළ ඉල්ලුමක් පවතින මාදිලි මෙන්ම, DENZA සන්නාමයේ සුඛෝපභෝගී B5 සහ B8 මාදිලි ද ප්‍රදර්ශනය කෙරේ. ජෝන් කීල්ස් CG ඔටෝ හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, වසරකට අඩු කාලයක් තුළ BYD සඳහා මෙවැනි ප්‍රදර්ශනාගාර නවයක් විවෘත කිරීමට හැකි වීම ශ්‍රී ලාංකිකයින් NEV තාක්ෂණය කෙරෙහි දක්වන දැඩි උනන්දුව පිළිබිඹු කරන්නක් බවයි. පරාසය පිළිබඳ ගැටලු (Range Anxiety) පවතින රියදුරන්ට පිරිසිදු විදුලි බලයෙන් කිලෝමීටර 70ක් සහ සමස්තයක් ලෙස කිලෝමීටර 1000 ඉක්මවන දුරක් ධාවනය කළ හැකි DM-i Super Hybrid තාක්ෂණය මෙහිදී හඳුන්වා දී ඇත.
මෙම වාහනවල පවතින ලොව ආරක්ෂිතම බැටරිය ලෙස සැලකෙන “බ්ලේඩ් බැටරි” (Blade Battery) තාක්ෂණය සහ ඕනෑම දුෂ්කර භූමියක ධාවනය කළ හැකි “DMO Off-Road Platform” වැනි නවෝත්පාදනයන් ශ්‍රී ලාංකීය මාර්ග තත්ත්වයන්ට ඉතා මැනවින් ගැලපේ. ඉන්ධන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ කාර්යසාධනයක් ලබා දෙන මෙම තාක්ෂණික විප්ලවය හරහා ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තිරසාර අනාගතයක් කරා යොමු කිරීම JKCG ඔටෝ සමාගමේ මූලික අරමුණයි.













