පාරිභෝගිකයින් මුහුණ දී සිටින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙමින් ලාෆ්ස් ගෑස් (Laugfs Gas) පීඑල්සී සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, එල්.පී. ගෑස් (LP Gas) මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් එළැඹෙන පෙබරවාරි 27 වන දින දිවයිනට පැමිණීමට නියමිතය. මෙම පුවත වෙළඳපොළේ පවතින ගෑස් හිඟය අවම කිරීමටත්, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමටත් හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලාෆ්ස් ගෑස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කරන පරිදි, මෙම නෞකාව දැනට මාලදිවයිනේ නැංගුරම් ලා ඇති අතර හෙට (24) දින ගෑස් තොග පැටවීමේ කටයුතු ආරම්භ කෙරේ. මෙලෙස රැගෙන එනු ලබන ගෑස් තොග පෙබරවාරි 28 වන දින සිට කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.
මීට අමතරව, ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සමාගම විසින් තවත් පියවරක් ගෙන තිබේ. ඒ අනුව, මෙම නෞකාව පැමිණ දින 8ක් ඇතුළත තවත් මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගයක් රැගත් දෙවන නෞකාවක් ද දිවයිනට පැමිණීමට නියමිතය. මෙමගින් ඉදිරි මාස කිහිපය තුළ කිසිදු හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට අවශ්‍ය සැපයුම් ලබා දීමට හැකි වනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.











