උණවටුන, පිල්ලගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක නවාතැන්පොළක ලැගුම්ගෙන සිටි රුසියානු ජාතික සංචාරකයෙකුට අයත් රුපියල් 620,000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව එම නවාතැන්පොළෙහි හිමිකාරියගේ දියණිය උණවටුන සංචාරක පොලිසිය විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ඇතුළත පොලිසිය ක්‍රියාත්මක වී ඇත. සංචාරකයා විසින් තම කාමරය තුළ රහසිගතව සඟවා තිබූ කැමරාවක සටහන් වූ දර්ශන මගින් සැකකාරිය කිහිප වතාවක්ම කාමරයට ඇතුළු වන ආකාරය නිරීක්ෂණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය 19 හැවිරිදි තරුණියකි.
මීට පෙරද මෙම නවාතැන්පොළ තුළ මෙවැනි සොරකම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. සැකකාරිය හෙට (24) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.











