ඊයේ (22) පෙරවරුවේ පයාගල ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ හදිසි මරණ පරීක්ෂණය අද (23) කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණි. එහිදී සාක්ෂි දුන් ගාලු කුමාරි දුම්රියේ රියැදුරු කොස්වත්ත ආරච්චිගේ දොන් මහේන්ද්‍ර මානවසාර මහතා අනතුර සිදු වූ ආකාරය විස්තර කළේය.
වසර 26ක සේවා පළපුරුද්දක් ඇති රියැදුරු මහතා පවසා සිටියේ, බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රිය පෙරවරු 8.41ට පමණ පයාගල ප්‍රදේශය පසුකරන විට රතු පැහැති මෝටර් රථයක් දුම්රිය මාර්ගයට සමාන්තරව ගමන් කළ බවයි. එම රථය එක්වරම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමට සූදානම් වන බව දුටු සැණින් තමා නළාව නාද කර හදිසි තිරිංග ක්‍රියාත්මක කළ ද, රථය දුම්රියේ ගැටීම වළක්වා ගත නොහැකි වූ බව ඔහු පැවසීය. දුම්රියේ ගැටුණු රථය අඩි 420ක් පමණ දුරට ඇදී ගොස් තිබේ.
මියගිය පිරිස: රඹුක්කන පදිංචි පසිඳු සුපුන් රණසිංහ (අවු. 22) සහ විහග රුක්ෂාන් බණ්ඩාර (අවු. 28). මොවුන් දෙදෙනා පාලම් ඉදිකිරීම් සමාගමක නිලධාරීන් වේ.
තුවාල ලැබූ පිරිස: රථය පදවාගෙන ආ 39 හැවිරිදි කුෂාන් ප්‍රදීප් නමැති රියැදුරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
එම සමාගමේම සේවය කරන ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන මහේෂ් පෙරේරා මහතා ද මෙහිදී සාක්ෂි දුන්නේය. රථය තමා පසුකර යන විට රියැදුරු තමාට ද එයට ගොඩවන ලෙස පැවසූ බවත්, තමා පයින් එන බව පැවසූ නිසා දිවි බේරුණු බවත් ඔහු හැඟුම්බරව ප්‍රකාශ කළේය. වාහනය හරස් මාර්ගයට දැමූ සැණින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව අවට පිරිස සමඟ එක්ව දොරවල් කඩා තුවාලකරුවන් පිටතට ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කළුතර හදිසි මරණ පරීක්ෂක කේ.ඩී. චිරාත් භාරත මහතා ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව තීන්දු කළේ, දුම්රියේ ගැටීමෙන් හිසට, උරසට සහ උදරයට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.













