2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ අද (23) පැවති තීරණාත්මක තරගයකින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 107ක දැවැන්ත පරතරයකින් පරාජය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ කොදෙව්වන් සිය ප්‍රබලත්වය යළිත් ලොවටම ප්‍රදර්ශනය කර ඇති අතර, මෙය මෙවර තරගාවලියේ වාර්තා වූ සුවිශේෂී ජයග්‍රහණයකි.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළහ. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා පොත් අතරට එක් විය. එහිදී ෂිම්රොන් හෙට්මියර් පන්දු 38කින් වේගවත් ලකුණු 85ක් රැස් කළ අතර, රොව්මන් පවෙල් ලකුණු 59ක් සහ ෂර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළහ.
ලකුණු 255ක අසීරු ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17.4ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණි. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රැඩ් එවන්ස් ලකුණු 43ක් රැස් කළ අතර, නායක සිකන්දර් රාසා ලකුණු 27කට දැවී ගියේය. පන්දු යැවීමේදී දක්ෂතාව පෑ ගුඩකේෂ් මෝටී ලකුණු 24කට කඩුලු 4ක් දවාගත් අතර, අකේල් හොසේන් කඩුලු 3ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුනු කළේය.














