ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ආනයනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 7,672ක (රුපියල් බිලියන 7.6ක) සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට නිල වශයෙන් දැනුම් දී තිබේ. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා නෞකා අටක් මගින් රැගෙන ආ ගල්අඟුරු තොග මෙලෙස ප්‍රමිතියෙන් තොර බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇති අතර, එය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.
විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමු කළ ලිපිය මගින් එක් එක් නෞකාවෙන් සිදුවූ අලාභය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පළමු නෞකාවෙන් රුපියල් මිලියන 595ක්, තෙවන නෞකාවෙන් රුපියල් මිලියන 1,047ක් සහ අටවන නෞකාවෙන් රුපියල් මිලියන 1,559ක් වශයෙන් වැඩිම පාඩු සිදුවී ඇත. මෙලෙස බාල ගල්අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීමේදී බලාගාරයේ කාර්යක්ෂමතාව අඩු වීම සහ නඩත්තු පිරිවැය ඉහළ යාම මෙම පාඩුවට ප්‍රධාන හේතුව වී තිබේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, රජය විසින් ආනයනය කළ නවවන ගල්අඟුරු නෞකාවේ තොග ද නියමිත ප්‍රමිතියට වඩා අඩු බව දත්ත වාර්තා මගින් තහවුරු වී ඇති බවයි. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මහජන මුදල් මෙලෙස විනාශ වීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගත යුතු බව විපක්ෂය අවධාරණය කරයි.














