වැලිවිටිය-දිවිතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් ඊයේ (23) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවයක නිරත විය. ඇල්පිටිය-බද්දේගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ මෙම විරෝධතාවය හේතුවෙන් ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවාවන්ට මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වූ බව වාර්තා වේ. දේශපාලන මැදිහත්වීමක් මත මෙම මාරුව සිදු වූ බවට දෙමාපියන් චෝදනා කළද, බලධාරීන් පවසන්නේ මෙය සාමාන්‍ය චක්‍රලේඛ අනුව සිදුවූවක් බවයි.














