ප්‍රසිද්ධ ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් (COPE) කමිටුව මගින් ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. ගල්අඟුරු ආනයනය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බවට විපක්ෂය සහ විවිධ පාර්ශ්වයන් එල්ල කරන චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
මින් පෙර කෝප් කමිටු වාර්තා කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී පවතින නීතිමය බාධා ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කරමින්, ඉදිරියේදී යම් දූෂණයක් අනාවරණය වූ වහාම ඒ පිළිබඳ විමර්ශන කටයුතු සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට කෝප් කමිටුවට බලය හිමිවනු ඇත. මෙම සංශෝධන ලබන මාසයේ මුල් සතිය වන විට අවසන් කිරීමට නියමිතය.
ගල්අඟුරු ආනයන පටිපාටිය තුළ යම් අක්‍රමිකතාවක් හෝ රජයට මූල්‍යමය පාඩුවක් සිදුව ඇත්දැයි යන්නත්, එසේ වී ඇත්නම් එහි වගකිවයුත්තන් කවුරුන්ද යන්නත් සෙවීම මෙම විමර්ශනයේ මූලික අරමුණයි. පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන 22ක් පමණ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර, ඉදිරියේදී ගල්අඟුරු ආනයනයට සෘජුවම සම්බන්ධ සියලුම ආයතන කැඳවා විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන බව නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














