බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ ප්‍රවිකිරණ ධාරිතාව (Irradiation Capacity) පුළුල් කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා එම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ.
කොබොල්ට් 60 (Cobalt-60) සමස්ථානිකය භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම බහුකාර්ය ප්‍රවිකිරණ මධ්‍යස්ථානය හරහා වෛද්‍ය උපකරණ ජීවානුහරණය, ඖෂධ, ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රමිතිය සුරැකීම සඳහා ගුණාත්මක සේවාවක් දැනටමත් ලබා දෙයි. දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ ඉහළ යන ඉල්ලුම සලකා බලා, මෙම මධ්‍යස්ථානයේ ධාරිතාව ඉහළ නැංවීම මගින් රටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය, ජනමාධ්‍ය, වෙළඳ සහ මුදල් යන අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධ සහයෝගීතා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට ඇති හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇත. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.













