තායිවානයේ ඊසානදිග යිලාන් (Yilan) ප්‍රාන්ත වෙරළ තීරයට ඔබ්බෙන් අද (24) රික්ටර් මාපක 5.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එම දිවයිනේ කාලගුණ පරිපාලනය නිවේදනය කරයි. මෙම භූ කම්පනය හේතුවෙන් අගනුවර වන තායිපේ (Taipei) නුවර ගොඩනැඟිලි පවා සුළු වේලාවකට සෙලවී ඇති නමුත්, කිසිදු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
කාලගුණ බලධාරීන්ට අනුව, මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 66.8 ක ගැඹුරකින් සිදුව ඇත. එහි කේන්ද්‍රය යිලාන් ප්‍රාන්ත රජයේ මූලස්ථානයේ සිට කිලෝමීටර් 16.9 ක් දුරින් පිහිටි වෙරළබඩ මුහුදු තීරයේ පිහිටා තිබුණි. තායිවානය භූ තැටි දෙකක් එකිනෙක ගැටෙන කලාපයක පිහිටා ඇති බැවින් එය නිරන්තරයෙන් භූමිකම්පාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින රටකි.
තායිවාන ඉතිහාසයේ 1999 වසරේ සිදුවූ රික්ටර් මාපක 7.3 ක භූමිකම්පාවෙන් පුද්ගලයන් 2,000 කට අධික පිරිසක් මියගිය අතර, 2016 වසරේදී දකුණු තායිවානයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය. අද සිදුවූ මෙම කම්පනය මෑතකාලීන ප්‍රබල කම්පනයක් වුවද, එහි ගැඹුර වැඩි වීම නිසා සිදුවිය හැකි හානිය අවම වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.














