මෙක්සිකෝවේ කුප්‍රකට Jalisco New Generation Cartel (CJNG) හි නායක Nemesio “El Mencho” Oseguera Cervantes ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා (පෙබරවාරි 22) දියත් කළ දරුණු හමුදා මෙහෙයුමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. වසර ගණනාවක් ලොවටම හිසරදයක් වූ මෙම මත්ද්‍රව්‍ය නායකයාගේ සැඟවුණු ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ඔහුගේම පෙම්වතියකගේ සමීපතමයෙකු සහ අමෙරිකානු බුද්ධි අංශ ලබාදුන් තොරතුරු තීරණාත්මක වී ඇති බව නවතම වාර්තා හෙළි කරයි.
පෙබරවාරි 20 වන දින අමෙරිකානු බුද්ධි අංශ මගින් මෙක්සිකානු රජයට ලබාදුන් තොරතුරුවලට අනුව, El Mencho ගේ පෙම්වතියක ඇයගේ සමීපතමයෙකු සමඟ ටැපල්පා (Tapalpa) ප්‍රදේශයේ පිහිටි ආරක්ෂිත නිවස්නයකට ගොස් තිබේ. ඇය එම ස්ථානයෙන් පිටව ගිය පසු, El Mencho සිය ආරක්ෂකයන් සමඟ එහි රැඳී සිටින බව තහවුරු කරගත් මෙක්සිකානු විශේෂ බලකාය සහ ගුවන් හමුදාව පැය 24ක් වැනි කෙටි කාලයකදී මෙම වැටලීම සැලසුම් කර ඇත. ඉරිදා උදෑසන එල්ල කළ මෙම ප්‍රහාරයේදී El Mencho බරපතල තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා අගනුවර වෙත ගුවන් මගින් රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ.
මෙම ඝාතනයත් සමඟ මෙක්සිකෝවේ ප්‍රාන්ත 20ක පමණ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇත. සිය නායකයාගේ මරණයට පළිගැනීමක් ලෙස කාටලයේ සාමාජිකයන් මාර්ග අවහිර කරමින් වාහන ගිනිබත් කරමින් සිටින අතර, මේ වන විට ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සාමාජිකයන් 25 දෙනෙකු පමණ ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වාර්තා පවසයි. තත්ත්වය පාලනය කිරීම සඳහා මෙක්සිකානු රජය අතිරේක සෙබළුන් 2,500ක් පමණ යොදවා ඇති අතර සංචාරක කලාප රැසක ආරක්ෂාව ද තර කර ඇත.














