සමගි ජන බලවේගය (SJB) පක්ෂය තවදුරටත් ප්‍රතිසංවිධානය කරමින්, නව ප්‍රධාන ආසන සංවිධායකවරුන් තිස් දෙනෙකු ළඟදීම පත් කිරීමට කටයුතු කරන බව පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. මෙම තනතුරු සඳහා විශාල පිරිසක් අයදුම් කර තිබූ අතර, පසුගිය දින කිහිපය පුරා ඒ සඳහා සුදුස්සන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මාලාවක් ද පවත්වා තිබේ.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි, ජනතා සේවයට කැපවුණු, උපරිම හැකියාවක් සහ සුදුසුකම් සහිත පිරිසක් මෙම තනතුරු සඳහා තෝරා ගැනීමට පක්ෂය පියවර ගෙන ඇත. නව වසරේ පක්ෂයේ සංවිධාන ජාලය රට පුරා ශක්තිමත් කිරීමේ වැඩසටහනේ මූලික පියවරක් ලෙස මෙම පත් කිරීම් සිදු කරන බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත. පක්ෂ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ඇතිව රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ හරහා පක්ෂයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, තරුණ නායකත්වයට වැඩි ඉඩකඩක් ලබා දීමටත් සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.













