ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු අවිස්සාවේල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් නෝර්ටන් බ්‍රිජ් – ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ. නෝර්ටන් බ්‍රිජ්, 3 කණුව ප්‍රදේශයේදී අද (24) දහවල් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ගමන් කළ පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර, නෝර්ටන් බ්‍රිජ් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. ශ්‍රී පාද වන්දනා සමය බැවින් කඳුකර මාර්ගවල රිය ධාවනය කිරීමේදී රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිසිය අවධාරණය කරයි.














