මෙරට අලි-මිනිස් ගැටුම යළිත් දරුණු වෙමින් පවතින බව පසක් කරමින්, 2026 වසරේ මුල් මාස එකහමාරක කාලය තුළ පමණක් වනඅලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම දත්ත වාර්තා වී ඇත්තේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 20 වනදා දක්වා වූ කාලසීමාව තුළදීය.
වනජීවී දෙපාර්තමේන්තුවට අනුව මෙම සතුන් මියයාමට වෙඩි තැබීම්, නීති විරෝධී විදුලි වැටවල් ස්පර්ශ වීම, දුම්රිය අනතුරු, වස දීම සහ දියේ ගිලීම වැනි කරුණු ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙහිදී වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීමයි.
මීට අමතරව, එම කාලසීමාව තුළදීම වනඅලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම දෙපාර්තමේන්තුව තහවුරු කරයි. පවතින වියළි කාලගුණයත් සමඟ ආහාර සහ ජලය සොයා වනඅලි ගම්වැදීම මෙම මරණ ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා විධිමත් වැටවල් ඉදිකිරීම සහ අලි මංකඩවල් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව බලධාරීන් විසින් නැවතත් අවධාරණය කර ඇත.














