2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (SSCL) පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ 2026 අයවැය මගින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවය. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇති බව වාර්තා වේ.
මූල්‍ය, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය. මෙම සංශෝධන හරහා බදු පදනම පුළුල් කිරීම සහ ඇතැම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සහන සැලසීම අපේක්ෂා කෙරේ.
2026 අයවැය යෝජනාවලට අනුව, මෙම සංශෝධනය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජිතය. මීට අමතරව, මූල්‍ය සේවා, ජාත්‍යන්තර ප්‍රවාහන සේවා සහ තෝරාගත් ඉන්ධන වර්ග සඳහා වන බදු නිදහස් කිරීම් සහ පැහැදිලි කිරීම් ද මෙම නව සංශෝධන හරහා ක්‍රියාත්මක වනු ඇත.














