අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින පානීය ජල ගැටලුවට විසඳුම් සපයන “අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරෙහි” ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු සඳහා වූ උපදේශන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ශ්‍රී ලංකා රජය එක්ව අරමුදල් සපයන මෙම ව්‍යාපෘතිය මගින් යාන් ඔය ජලාශය මූලාශ්‍ර කරගනිමින් පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ පදවිය, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන්ට මෙන්ම රඹෑව හා මැදවච්චිය ප්‍රදේශවල ජනතාවට ද ආරක්ෂිත පානීය ජලය ලබාදීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින මෙම ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම රජයේ ප්‍රමුඛතාවයකි.
ඉදිකිරීම් අධීක්ෂණය සඳහා වන මෙම උපදේශන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ M/s. Nippon Koei India Pvt Ltd සහ ශ්‍රී ලංකාවේ Green Tech Consultants Pvt Ltd සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන M/s. Nippon Koei Pvt Ltd වෙත පිරිනමා ඇත. ඒ සඳහා වැයවන මුදල ජපන් යෙන් මිලියන 82.39ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 332.01ක් (බදු රහිත) ලෙස ඇස්තමේන්තු කර තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාවය පළ කර ඇත.














