ශ්‍රී පාද වන්දනාව අවසන් කර ආපසු පැමිණෙමින් තිබූ මෝටර් රථයක් නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේදී පෙරළී යාමෙන් අද (24) අනතුරක් සිදුව තිබේ. නල්ලතන්නිය පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේදීය.
අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල, අලුත්ගම ප්‍රදේශයේ සිට පැමිණි එකම පවුලේ සාමාජිකයින් පිරිසකි. රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගත නොහැකි වූ රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. වාසනාවකට මෙන්, මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව පොලිසිය තහවුරු කළේය.
නල්ලතන්නිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, වන්දනා සමයේදී අධික විඩාව හේතුවෙන් රියදුරන්ට නින්ද යාමෙන් සිදුවන අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.














