ශ්‍රී ලංකාවේ සුභාවිත සංගීතයේ අනන්‍ය සලකුණ වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 84 වන ජන්ම දිනය සහ හය දශකයක කලා මෙහෙවර අගයමින් සංවිධානය කළ “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ… ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය” උපහාර උළෙල පෙබරවාරි 24 වන දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී වික්ටර් රත්නායකයන්ගේ ඡායාරූපයක් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී විවෘත කෙරුණු අතර, එය එතුමන් මෙරට සංගීතයට සහ ගුවන්විදුලියට කළ මෙහෙවරට පිරිනැමූ උත්තමාචාරයක් විය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ තමා වික්ටර් රත්නායකයන්ගේ දැඩි රසිකයෙකු බවත්, කුඩා කාලයේ තමා නැරඹූ පළමු ප්‍රසංගය වන්නේ එතුමන්ගේ සුප්‍රකට ‘ස’ ප්‍රසංගය බවත්ය. සිංහල භාෂාව කෙරෙහි තමා තුළ ඇල්මක් ඇති කිරීමට වික්ටර් රත්නායකයන්ගේ ගීත මහත් සේ බලපෑ බව ඇය සිහිපත් කළාය. “කුරුල්ලන්ට ගී ගයන්න”, “සඟවා ගනු මැන සොඳුරිය” වැනි ගීත හරහා ආදරයේ සියුම් බව මෙන්ම භාෂාවේ අපූර්වත්වය වටහා ගත් බවත්, වික්ටර් රත්නායක යනු රටක් ලෙස අප ලැබූ මහඟු ත්‍යාගයක් බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
විශේෂයෙන්ම ‘සරුංගලේ’ චිත්‍රපටයේ එන ගීත හරහා විවිධ සංස්කෘතීන් අතර පවතින සුසංයෝගය ඉතා ස්වාභාවිකව ඉදිරිපත් කිරීමට වික්ටර් රත්නායකයන් සතු වූ දක්ෂතාවය අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක් විය. ජීවමාන කලාකරුවන් අගය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, ගුවන්විදුලි සංස්ථාව මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කළාය. බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.














