ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සත්කාරක ව්‍යාපෘති මාලාව යටතේ, මඩකලපුව කොඩ්ඩයිමුනයි කනිෂ්ඨ විද්‍යාලය සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිත නව තොරතුරු තාක්ෂණ (IT) පරිගණක මධ්‍යස්ථානයක් ඊයේ (2026 පෙබරවාරි 23) සිසු අයිතියට පත් කර තිබේ. “සුරකිමු ලකඹර” තේමාව යටතේ වසර 75ක අභිමානවත් සේවය සැමරීම වෙනුවෙන් දිවයින පුරා පාසල් තුනක මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීමට ගුවන් හමුදාව සැලසුම් කර ඇත.
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. ග්‍රාමීය පාසල් සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිකළ මෙම විද්‍යාගාරය තුළ නවීන ඩෙස්ක්ටොප් පරිගණක 15ක්, අඛණ්ඩ විදුලි සැපයුම් පද්ධති (UPS) සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ස්ථාපිත කර ඇත. සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද මෙම මධ්‍යස්ථානය සිසුන්ට හිතකර ඉගෙනුම් පරිසරයක් ලබා දෙයි.
මෙම සත්කාරය සඳහා මඩකලපුව රොටරි සමාජය ද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති අතර, ඔවුන් විසින් විද්‍යාගාරයට අවශ්‍ය සියලුම පරිගණක මේස සහ පුටු පරිත්‍යාග කර තිබේ. පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාවේ විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් චානක සූරියආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














