හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය දිසා සහ මහෙස්ත්‍රාත් ඒකාබද්ධ අධිකරණයක් බවට පත්වීම සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පසුගියදා හෙට්ටිපොල අධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි. හෙට්ටිපොල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු කේ.ඒ.ආර්. නදීශානී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට හෙට්ටිපොල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතා ඇතුළු නීතිඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අංක 2453/36 සහ 2025.09.12 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් හෙට්ටිපොල දිසා අධිකරණය පිහිටුවා ඇති අතර මෙම නව පියවර හරහා ප්‍රදේශයේ ජනතාවට යුක්තිය ඉටුකර ගැනීමේ වඩාත් පුළුල් අවස්ථාවක් හිමිවනු ඇත.
මෙම නව අධිකරණ කලාපය බිංගිරිය, පඬුවස්නුවර බටහිර සහ පඬුවස්නුවර නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අදාළ නිලධාරී වසම් ආවරණය කරනු ලබයි. ඒ අනුව ඉඩම් නඩු, බෙදුම් නඩු, දික්කසාද නඩු, මුදල් අයකර ගැනීම් සහ වන්දි නඩු ඇතුළු සියලුම ආකාරයේ සිවිල් නඩු කටයුතු සඳහා සහන ලබා ගැනීමට හෙට්ටිපොල දිසා අධිකරණය වෙත යොමු වීමට මින් ඉදිරියට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබේ. හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය ද දිසා අධිකරණය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වීම ජනතාවට සහ නීතිඥ ප්‍රජාවට ඉමහත් පහසුවක් වන අතර මෙම අධිකරණය පිහිටුවීමට සහාය දැක්වූ අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණ පද්ධතියේ සියලුම නිලධාරීන් වෙත හෙට්ටිපොල නීතිඥ සංගමය සිය ස්තූතිය පිරිනමයි.














