විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය අද රාත්‍රී 7 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, මුල් පෙළ පිතිකරණය ශක්තිමත් කිරීමට චරිත් අසලංක සහ මැද පෙළ සඳහා ජනිත් ලියනගේ කණ්ඩායමට කැඳවීමට නියමිතව තිබේ.
මෙම නව වෙනස්කම් හේතුවෙන් පසුගිය තරගවලදී දස්කම් අතරට පිවිසීමට අපොහොසත් වූ කමිල් මිෂාරට සිය ස්ථානය අහිමි වනු ඇත. එමෙන්ම, දුෂාන් හේමන්ත හෝ මහීෂ් තීක්ෂණ යන දෙදෙනාගෙන් එක් අයෙකුට ද අද තරගයේදී විවේකයක් ලබා දීමට බොහෝ දුරට ඉඩ පවතින බව වාර්තා වේ. සුපිරි 8 වටයේ ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වී තිබේ.














