හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම, ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් රජයට එල්ල වී ඇති බරපතළ වංචා චෝදනා යටපත් කිරීමට සහ බෙදුම්වාදී බලවේග සතුටු කිරීමට ගත් පියවරක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, චැනල් 4 නාලිකාව විසින් ගෙතූ අසත්‍ය කතාවක් පදනම් කරගනිමින් මෙම පළිගැනීම සිදුකරන බවයි.
පසුගිය රජය සමයේ පත්කළ ඉමාම් කමිටු වාර්තාව මගින් මෙම චෝදනා අසත්‍ය බව හෙළි වී තිබියදීත්, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර සැමරුම ඉලක්ක කර ගනිමින් මහ මොළකරු නාටකය රඟදැක්වීමට රජය උත්සාහ කරන බව හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. රට වෙනුවෙන් සේවය කළ රණවිරුවෙකු මෙලෙස දේශපාලන අවශ්‍යතා මත අත්අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂය නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















