‘පුනරුදයට පුරවර’ සංවර්ධන වැඩසටහන යටතේ හැටන් නගරයේ පදික වේදිකා අවහිර වන සේ පවත්වාගෙන ගිය වෙළෙඳාම් ඉවත් කිරීමට යාමේදී අද (25) උණුසුම් තත්ත්වයක් හටගත්තේය. හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් විසින් මාර්ගය පුළුල් කිරීම සහ කාණු පද්ධතිය සකස් කිරීම සඳහා මෙම ඉවත් කිරීම් සිදු කළ අතර, එහිදී වෙළෙඳුන් සහ නිලධාරීන් අතර දැඩි මතගැටුම් ඇති විය. පදික වේදිකාවල අසුරා තිබූ වෙළෙඳ භාණ්ඩ ඉවත් කිරීමත් සමඟ තම ජීවනෝපාය අහිමි වන බව පවසමින් වෙළෙඳුන් විරෝධය පළ කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගර සභා සභාපති අසෝක කරුණාරත්න මහතා සඳහන් කළේ, පදිකයන්ගේ ආරක්ෂාව සහ නගර අලංකරණය වෙනුවෙන් මෙම පියවර ගත් බවයි. ඉවත් කළ වෙළෙඳුන්ට සති අන්ත පොළ භූමියේ ව්‍යාපාර කටයුතු කිරීමට විකල්ප ඉඩ ලබා දෙන බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, වෙළෙඳසැල්වලට වඩා අඩු මිලට භාණ්ඩ ලබා දෙන තම ව්‍යාපාර ඉවත් කිරීමෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව පදික වෙළෙඳුන් අවධාරණය කර සිටිති.














