මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක පසුවන්නේද යන්න විමසීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මඟින් කැඳවා තිබූ විශේෂ වෛද්‍ය වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එම වාර්තාව මඟින් විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට තරම් සුදුසු මානසික තත්ත්වයක නොමැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව පනවා තිබූ සියලු අධිචෝදනාවලින් ඇය නිදහස් කිරීමට තීන්දුව ප්‍රකාශයට පත් කළේය.














