2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයෙන් අවසන් වීමට නියමිත අතර, විභාගය අවසානයේ සිසුන් කළහකාරී ලෙස හැසිරීමේ ප්‍රවණතාවක් පවතින බවට ලැබී ඇති තොරතුරු මත ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ. පසුගිය වසරවල විභාගය අවසන් වූ දිනවලදී වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් සහ දේපළ හානි පිළිබඳව කළ විශ්ලේෂණයකින් පසුව මෙලෙස ආරක්ෂක පියවර තද කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
විභාග මධ්‍යස්ථාන අවට සහ ප්‍රධාන නගරවල සිසුන් එක්රැස් වන ස්ථාන කෙරෙහි පොලිස් ආරක්ෂාව සහ සංචාරක මුර සංචාර දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, කිසියම් හෝ කළහකාරී ක්‍රියාවක නිරත වන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන් ද දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, විභාගය අවසන් වී නිවසට පැමිණෙන තෙක් තම දරුවන් පිළිබඳව සොයා බලා මෙවැනි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමට සහාය වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














